විශ්ව ලේඛනයක් යනු කතෝලික සභාවේ ප්‍රධානියා වන පාප්තුමන් විසින් ලොව පුරා විසිරී සිටින රදගුරු වරුන්, පූජක පක්ෂය සහ සමස්ත ඇදහිලිවන්තයන් වෙත යොමු කරනු ලබන මඟ පෙන්වීමකි. මෙවැනි ලේඛන සභාවේ මූලික ඉගැන්වීම්, සමාජීය ගැටලු සහ සදාචාරාත්මක අභියෝග හමුවේ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කරයි.
'Laudato Si'' (වේ ප්‍රශංසා) මෙම ලේඛනය පරිච්ඡේද හයකින් සමන්විත වේ:
අපගේ පොදු නිවහන වන පරිසරයට සිදුවන දේ: පාරිසරික අර්බුදයේ වත්මන් තත්ත්වය පිළිබඳව විග්‍රහ කිරීම.
මැවීමේ ශුභාරංචිය: මැවීම පිළිබඳ බයිබලීය දැක්ම ගවේෂණය කිරීම.
පාරිසරික අර්බුදයේ මනුෂ්‍ය සබඳතා: මිනිසාගේ ආකල්ප සහ තාක්ෂණික දියුණුවේ බලපෑම පැහැදිලි කිරීම.
සමස්ත පරිසර විද්‍යාව: ජීවිතයේ පාරිසරික, ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අංශ එකිනෙකට සම්බන්ධ කරන "සමස්ත පරිසර විද්‍යාවක්" (Integral ecology) පිළිබඳව සංවාදයට බඳුන් කිරීම.
සංවාදය සහ ක්‍රියාමාර්ග: පාරිසරික ගැටලු සඳහා ගෝලීය වශයෙන් ගත යුතු පියවර යෝජනා කිරීම.
පාරිසරික අධ්‍යාපනය සහ අධ්‍යාත්මිකත්වය: තිරසාර ජීවන රටාවකට හැඩගැසීම සඳහා කිතුණු සභාවට අභියෝග කිරීම.
මෙවැනි ඉගැන්වීම ජනගත නොවන්නේ මන්ද? 'Laudato Si'' ඉදිරිපත් කර වසර ගණනාවක් ගතවී ඇතත්, එය තවමත් බිම් මට්ටමේ කිතුණු ජනතාවගේ ජීවන දර්ශනයක් බවට පත් වී නොමැත. බොහෝ විට මෙවැනි ලේඛන හුදු ශාස්ත්‍රීය ලේඛන ලෙස පමණක් හඳුනා ගැනීම නිසා, ඒවායේ හරය ඉහළ සිට පහළට ප්‍රායෝගිකව ගලා නොයයි.
මෙය ජනතාවට සරලව පහදා දීමේ වගකීම සභාවේ නායකත්වයට පැවරී ඇතත්, බොහෝ දේවස්ථානවලින් ඒ සඳහා ලැබෙන දායකත්වය ප්‍රමාණවත් නොවේ. ඊට හේතුව, මෙම ඉගැන්වීම් දේවස්ථානවල පවතින සාම්ප්‍රදායික වත්පිළිවෙත් සහ ඇතැම් ආකල්පවලට අභියෝගයක් වීම විය හැකිය. එසේත් නොමැති නම්, සභා නායකත්වයන් තුළ පවතින නොදැනුවත්භාවය හෝ දේවස්ථාන හරහා සිදුවන වත්පිළිවෙත් තුළ ඇති කිතුණු වටිනාකම් පිළිබඳව නැවත සිතා බැලීමට ඇති අකමැත්ත මෙයට හේතු විය හැක.
අධික පරිභෝජනය වැනි තත්ත්වයන් 'වේ ප්‍රශංසා' ලේඛනය විසින් ප්‍රතික්ෂේප කරයි. එහෙත්, දේවස්ථාන ආශ්‍රිත උත්සව සහ මංගල්‍ය වෙනුවෙන් සිදු කරන අනවශ්‍ය වියදම් සහ භෞතිකවාදී සැරසිලිවල අඩුවක් නොමැත. සැරසිලි සඳහා තවමත් පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය සිදුවන්නේ අපගේ පාරිසරික දැනුවත්භාවයේ ඇති මඳ බව මනාව පිළිබිඹු කරමිනි. උස් හඬින් දේශනා සහ යාඥා විකාශය කරන ශබ්ද විකාශන යන්ත්‍ර මගින් අසල්වැසියාට සිදු කරන බාධා, 'වේ ප්‍රශංසා' ලේඛනයෙන් අපේක්ෂා කරන යහපත් සබඳතාවලට පටහැනි වේ.
මෙවැනි ක්‍රියා මැවිල්ලට එරෙහි ක්‍රියාවන් බව පිළිගැනීමට ඇති අකමැත්ත හෝ ඒ පිළිබඳ පියතුමන්ලා ජනතාව දැනුවත් නොකිරීම, සභාව තුළ පවතින නිහඬ අර්බුදයකි. තැනින් තැන පවත්වන කෙටි වැඩසටහන් හෝ සංකේතාත්මක ගස් සිටුවීම්වලින් පමණක් පෘථිවිය රැකගත නොහැකි බව සභා නායකත්වය වටහා ගත යුතුය. අවශ්‍ය වන්නේ පුළුල් ජීවන රටා වෙනසක් උදෙසා ගෙනයන සක්‍රීය අධ්‍යාත්මික නායකත්වයකි. කෙසේ වෙතත්, වර්තමානයේ එවැනි සූදානමක් ප්‍රමාණවත් මට්ටමක පවතින බවක් පෙනෙන්නට නැත.
'Laudato Si'' යනු පාප්තුමාට පමණක් සීමා වූ ලේඛනයක් නොව, මිහිතලය මත වෙසෙන සියලුම මනුෂ්‍යයන් වෙනුවෙන් නිකුත් කළ කැඳවුමකි. එබැවින්, සභාවේ පැවිදි නායකත්වයේ මඟ පෙන්වීම එනතුරු බලා නොසිට, ගිහියන් ලෙස අප මෙම කාර්යභාරය අතට ගත යුතුය.
පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය ලෙස, අපි අපගේ තරුණ කණ්ඩායම සමඟ එක්ව මේ පිළිබඳ ගැඹුරු සංවාදයක නිරත වී සිටිමු. තිරසාර ලෝකයක් පිළිබඳ සිහින දකින සංවිධානයක් වශයෙන්, අපි දැනටමත් අපගේ සාමාජිකත්වය සමඟ එක්ව අවට පාරිසරික අර්බුද සඳහා ධනාත්මක විසඳුම් සෙවීමට වැඩ කරමින් සිටින්නෙමු. අපගේ අත්දැකීම් සහ දැනුම අනෙක් සියලුම දෙනා සමඟ බෙදා ගැනීමට අපි සූදානමින් සිටිමු. මෙම උතුම් අරමුණ ඉටු කර ගැනීමට ඔබත් අප සමඟ එක්වන ලෙස අපි ආරාධනා කරමු.
පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය. 17. 06. 2026

No comments:
Post a Comment