Wednesday, April 5, 2023

පමුණුගම / මියුනිච් ඒකාබද්ධ මෙහෙවර වැඩසටහන 2023

පමුණුගම සහ මියුනිච් තරුණ ක්‍රිස්තියානි සංගම් අතර වසර කීපයක සිට පවතින මිත්‍රත්වය අලුත් කරමින් මියුනිච් තරුණ ක්‍රිස්තියානි සංගමයේ නියෝජිතයින් පිරිසක් 2023 මාර්තු 16 සිට 31 දක්වා ශ්‍රී ලංකාවට පැමිණියහ. අමුත්තන් ගුවන් තොටුපළේදී පමුණුගම YMCA තරුණ තරුණියන් විසින් පිළිගත් අතර පිළිගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහය එදිනම සවස YMCA පරිශ්‍රයේ දී තරුණ තරුණියන් සහ පමුණුගම YMCA හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ඔවුන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ පමුණුගම YMCA හි සාමාජිකයින්, ප්‍රතිලාභීන්ගේ සහ තවත් අසල්වැසි YMCA කිහිපයක සහභාගීත්වයෙන් වැඩසටහන් දාමයක් ඒකාබද්ධව සංවිධානය කරන ලදී.

මෙහෙවර කඳවුර - මාර්තු 17 සිට 19 දක්වා පමුණුගම YMCA හිදී

මෙම කඳවුරට තරුණ තරුණියන් 30 දෙනෙක් සහභාගී වූහ. YMCA හි තරුණ තරුණියන් අතර කිතුනු දූත මෙහෙවර තවදුරටත් ශක්තිමත් කිරීම මෙම කඳවුරේ අරමුණ විය. මෙම වැඩසටහන අතරතුරදී බයිබල් අධ්‍යයන, නමස්කාර සැසි, ක්‍රීඩා, ක්‍රියාකාරකම්, සහ සංවාද මගින් ආමන්ත්‍රණය කරන ලද උප මාතෘකා අතර ඇදහිල්ල, ගෝලත්වය සහ දිවැසි මෙහෙවර ඇතුළු ක්‍රිස්තියානි ජීවිතයේ විවිධ පැතිකඩයන් විය. කඳවුරේ අවසාන දිනයේ සහභාගිත්ව දිව්‍ය යාගයක් පවත්වන ලදී. සරත් හෙට්ටිආරච්චි පියතුමා ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම දිව්‍ය යාගය දෙවිඳුන් තුළ ඉතා සමීප අත්දැකීමක් විය. වැඩසටහන අවසානයේ දී ඉදිරි ක්‍රියාකාරකම් සහ සැලසුම් පිළිබඳව කණ්ඩායම් සංවාදයක් පැවති අතර එහි දී ගත් තීරණ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමටට එකඟ විය.

පින්තූර සඳහා ක්ලික් කරන්න

ආදර්ශ ගොවිපලේ පැවැති ශ්‍රමදානය - මාර්තු 20 

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ පවත්වාගෙන යනු ලබන ආදර්ශ ගෙවත්තේ වැඩ කටයුතු වලට සහභාගි වෙමින් මියුනිච් තරුණ තරුණියන් ශ්‍රමදානයක් සඳහා සහභාගි විය. මෙහිදී ඔවුන් ගෙවත්ත තුළ පවතින ටිකිරි කොටුවෙහි නව පැළ සිටුවීම සහ දැනට පවත්වාගෙන යනු ලබන තුන්සියයකට අධික පැළ සඳහා කාබනික පොහොර යෙදීමට ඔවුන්ගේ ශ්‍රම දායකත්වය ලබාද දෙන ලදී

පින්තූර සඳහා ක්ලික් කරන්න

චාරිකාව - මාර්තු 21 සිට 24 දක්වා

මියුනිච් තරුණ ක්‍රිස්තියානි සංගමයේ නියෝජිතයින් සහ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය තරුණ තරුණියන් දස දෙනෙකුගේ සහභාගීත්වයෙන් මාර්තු මස 21 සිට 24 දක්වා සංචාරයක නිරත විය. සංචාරයේ පලමු ගමනාන්තය වූයේ සීගිරියයි. ඉන් අනතුරුව නවාතැන්පොළට පැමිණි ඔවුන් සවස් වරුව ගත කරනු ලැබුවේ එකිනෙකා සමඟ ඉතා කුලුපගුව කාඩ් ක්‍රීඩා සහ ස්පයික් බෝල් ඇතුළු විවිධ ක්‍රීඩාවල නිරත වෙමින්ය. නින්දට ප්‍රථම බයිබලය අධ්‍යයනය කරමින් ගත කරනු ලැබූ දිනය පිළිබඳව දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔවුන් අමතක නොකෙරිණ. පසුදින පාන්දරම පිදුරන්ගල පර්වතය තරණය කිරීම සඳහා කණ්ඩායමෙන් පිරිසක් පිටත් විය.  සීගිරි පර්වතයට යාබදව පිහිටි මෙම හුදෙකලා පර්වතය තරණය කිරීමෙන් පසුව හිරු උදාව දැක ගැනීමට ලැබීම චමත්කාරද දර්ශනයක් විය. ඉන්පසුව මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි ඇටන්වල ග්‍රාමය වෙත කණ්ඩායම පිටත් විය. මෙම ග්‍රාමය තුළ ගතකළ දින දෙක ඇතුළත පාගමන් දෙකක් සඳහා එක්විය. ඉන් පළමුවැන්න වූයේ යාබද නකල්ස් රක්ෂිතය ඇතුළත පිහිටි වල්පොලමුල්ල ගම්මානයයි. මෙම ගම් ගම්මානය වනය තුළ කිලෝමීටර් හතක් ඈතින් පිහිටි හුදකලා ගම්මානයක් වූ අතර තවමත් ඇටන්වල ගම්වාසීන් මෙහි කුඹුරු ගොවිතැන් කටයුතුවල නිරත වෙයි. එමෙන්ම ආසන්නයෙන් පිහිටා ඇති සුන්දර මානිගල තරණය කිරීම ද සොදුරු අත්දැකීමක් විය. මීට අමතරව ගම්මානය තුළ සැරිසරමින් දේශීය ආහාරවල රස විඳිමින් සහ යාබදව ගලාබසින සීතල අතු ගංගාවක දිය නාමින් ඉතා විනෝදයෙන් කාලය ගත කිරීම්ට හැකි විය.

පින්තූර සඳහා ක්ලික් කරන්න

බාලදක්ෂයින් සමඟ පැවැති මෙහෙවර කඳවුර - මාර්තු 25

පමුණුගම YMCA බාලදක්ෂයින් සඳහා වූ මෙහෙවර කඳවුරක් මාර්තු 25 වන දින YMCA පරිශ්‍රයේදී පැවැත්විණි.  කණ්ඩායම් ක්‍රියාකාරකම්, ක්‍රීඩා සහ ගායනය වලින් මෙම වැඩසටහන් සමන්විත විය. ඒ ඔස්සේ ක්‍රිස්තුස් වහන්සේ සමීපව අත්දැකීමට දරුවන්ට අවස්ථාවව උදාවිය. එදින දරුවන් හට දිවා ආහාරය සපයනු ලැබුවේ සංගමයේ පොදු මුළුතැන්ගේ වැඩසටහන හරහාය. මාස හයක පමණ සිට පවත්වාගෙන යනු ලබන මෙම වැඩ වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙන්නේද මියුනිච් තරුණ ක්‍රිස්තියානි සංගමය සමග එක්ව ඇස්කර් තරුණ ක්‍රිස්තියානි සංගම් බාලදක්ෂ කණ්ඩායමයි. එම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය දැකබලා ගැනීමටද මෙය අවස්ථාවක් විය. 

පින්තූර සඳහා ක්ලික් කරන්න

කුබ් තරඟාවලිය - මාර්තු 26

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විශේෂයෙන් YMCA ජාලය හරහා ශ්‍රී ලංකාවේ Kubb ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමියා වී ඇත. පමුණුගම, මීගමුව, මොරටුව සහ මියුනිච් තරුණ ක්‍රිස්තියානි සංගම් නියෝජනය කරමින් කණ්ඩායම් 26 ක සහභාගිත්වයෙන් කුබ් තරගාවලියක් සංවිධානය කර තිබුණි. විවෘත ඉසව්වට කණ්ඩායම් 15ක් තරගවැදි අතර වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා පැවති කනිෂ්ඨ ඉසව්වට කණ්ඩායම් 11 ක් තරඟ වැදිණ. කණ්ඩායමක් ක්‍රීඩකයින් 3 දෙනෙකුගෙන් සමන්විත වූ අතර ක්‍රීඩකයින් 78 කට වැඩි පිරිසක් සහභාගී වූහ. YMCA මිතුරන් සහ සාමාජිකයින් ද ක්‍රීඩකයින්ට සහයෝගය දැක්වීමට එක් විය. තරගාවලිය ඉතා ඉහළ ක්‍රීඩාශීලිත්වයකින් මෙන්ම සුහදශීලී වූ ආකාරයෙන් පැවතිණ. මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගමය කණ්ඩ දෙකෙහිම ශූරතාව දිනාගත් අතර විවෘත අංශයේ අනුශූරතාව පමුණුගම සහ මියුනිච් ඒකාබද්ධ කණ්ඩායමට හිමිවිය. කනිෂ්ඨ අංශයේ අනුශූරතා කුසලානය ද මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගමයට හිමි විය. ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ විශේෂ කුසලාන පිරිනැමිණ.

පින්තූර සඳහා ක්ලික් කරන්න

කොළඹ සංචාරය - මාර්තු 27

මියුනිච් කණ්ඩායම පමුණුගම YMCA හි මිතුරන් සමඟ කොළඹ සංචාරයක නිරත විය.. ඔවුන් කොළඹ ගාලු මුවදොර සහ ඒ ආසන්න ප්‍රදේශයේ සැරිසරමින් කාලය ගත කරන ලදී.  සවස් වරුවේ කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමය වෙත පැමිණි පිරිස සඳහා තේ පැන් සංග්‍රහයක් සහ කෙටි වැඩ වැඩසටහනක් කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් සංවිධානය කර තිබිණ.

පින්තූර සඳහා ක්ලික් කරන්න

Makalause Dream School වෙත පැමිණීම - මාර්තු 28

මියුනිච් මිතුරන්, ආබාධ සහිත ළමුන් සඳහා වන "Makalause Dream" YMCA පාසල නැරඹීම් සඳහා එක්විය.  එදින ඔවුන් දරුවන් සමග විනෝද වෙමින් ක්‍රීඩා කරමින් සතුටු විය. එදින දිවා ආහාරය ද මියුනිච් නියෝජිතයන් දරුවන් හා සමඟ එක්ව ලබා ගන්නා ලදී. මෙවැනි වැඩසටහනක් පැවැත්වීමේ YMCA හි අරමුණ සහ ශ්‍රී ලංකාව තුළ පොදුවේ ආබාධ සහිත පුද්ගලයින්ට ඇති දුෂ්කරතා සහ අභියෝග පිළිබඳව පාසල් කළමනාකාරීත්වය විසින් අමුත්තන්ට පැහැදිලි කරන ලදී. මෙදින එක්ව ගත්කළ කාලය මියුනිච් මිතුරු මිතුරියන්ට මෙන්ම පාසලේ දරු දැරියන්ට ද ඉතා සොඳුරු අත්දැකීමක් විය.

පින්තූර සඳහා ක්ලික් කරන්න

ශ්‍රී ලංකාව / ජර්මානු සංස්කෘතික ප්‍රසංගය - 29 මාර්තු 2023

ඒකාබද්ධ සංස්කෘතික ප්‍රසංගය පැවැති වැති වැඩසටහන් දාමය අතුරෙන් විශේෂ තැනක් ගන්නා ලදී. . YMCA ප්‍රධාන ශාලාවට රැස්ව සිටි විශාල ජනකායක් ඉදිරියේ පමුණුගම YMCA තරුණ තරුණියන් සහ ළමුන් විවිධ අංග 18කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කළහ.  Makalause Dream පාසල, නැටුම් කණ්ඩායම් සහ බාලදක්ෂ ළමුන් ද ප්‍රසංග ඉදිරිපත් කළ අය අතර වූහ. පමුණුගම සහ මියුනිච් YMCA හි තරුණ තරුණියන් ඒකාබද්ධ නැටුම්, ක්‍රීඩා සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා ද දායක වූහ. ජර්මානු මිතුරන් විසින් සාදන ලද ජර්මානු බනිස් වර්ගයක් ද ප්‍රසංගය අතරතුර ප්‍රේක්ෂකයන්ට පිරිනැමීය. ප්‍රසංගය ඉදිරිපත් කළ සියලුම දරුවන්ට සහ තරුණ තරුණියන්ට, දරුවන් පුහුණු කළ ගුරුවරුන්ට සහ උත්සවයට සූදානම් වීමට සහය වූ තරුණ තරුණියන්ට සංගමයේ විශේෂ ස්තුතිය පුදකර සිටී.

පින්තූර සඳහා ක්ලික් කරන්න

සමුගැනීම - මාර්තු 30

සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් Nayomi's Water Front Indian Restaurant හි සංවිධානය කර තිබුණි. මියුනිච් හි මිතුරන්, පමුණුගම YMCA හි තරුණ තරුණියන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයට එක් විය. අවසාන සාකච්ඡාවලදී සියලු දෙනාටම තම හැඟීම් එකිනෙකා සමඟ බෙදා ගැනීමට අවස්ථාව ලැබුණු අතර සෑම කෙනෙකුටම සොඳුරු මතකයන් රාශියක් සහ ඉගෙන ගත් බොහෝ දේ තිබුණි. අනාගත වැඩසටහන් වඩාත් යහපත් කිරීමට උපකාරී වන කෙටි ඇගයීමක් ද සිදු කරන ලදී. ඉන් අනතුරුව තිළිණ හුවමාරු කරගැනීම සිදුවිය. රාත්‍රී ආහාරය ලබා ගැනීමට අමතරව මෙම සංචාරය අතරතුර අවසන් වරට එක්ව ක්‍රීඩා කිරීමටත් සතුටින් එකිනෙකා සමඟ සංවාදයේ යෙදෙමින් දහස් හුවමාරු කර ගැනීමටත් මෙය අවස්ථාවක් විය.

පින්තූර සඳහා ක්ලික් කරන්න

මියුනිච් හි මිතුරන් ඔවුන්ගේ ආපසු ගුවන් ගමන සඳහා නොවැම්බර් 31 වන උදෑසනින්ම පිටත් විය. මෙම සංචාරය අතරතුරතුර පැවති සියලු වැඩසටහන හොඳින් සංවිධානය කරගැනීමට සහාය දැක්වූ සංගමයේ සියලුම සාමාජික සාමාජිකාවන් හට සංගමයේ ප්‍රණාමය පුද කෙරේ.  එමෙන්ම සංචාරයට එක්වූ මියුනිච් තරුණ ක්‍රිස්තියානි සංගමයේ ප්‍රධාන ලේකම් නික්ලස් ස්ටෙෆාන් මහතා හට ද කණ්ඩායමට නායකත්වය ලබාදුන් මාර්ටින් කැනොරිච් මහතා හට සහ පැමිණි  සියලුම තරුණ තරුණියන්ට සංගමයේ ස්තුතිය.  

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip