ඉන්දියානු තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික කවුන්සිලයේ (NCYI) තරුණ කණ්ඩායමක් 2025 ඔක්තෝබර් 27 සිට නොවැම්බර් 2 දක්වා ශ්‍රී ලංකා තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කරයි. මෙම පිරිස් ඉන්දියාවේ විවිධ ප්‍රදේශ ආවරණය කරමින් තරුණ තරුණියන් 9 දෙන්නෙකුගෙන් සමන්විත වන අතරින් ඔවුනට නායකත්වය ලබා දෙන්නේ ඉන්දියානු තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවේ ලේකම්වරුන් දෙදෙනෙකු වන ආචාර්ය කෝෂි ඇලෙක්සැන්ඩර් සහ සුජින් යන මහත්වරුන් විසිනි.
කණ්ඩායම ඔක්තෝබර් 29 වන දින උදෑසන පමුණුගම YMCA වෙත පැමිණ පසුදා දක්වා රැඳී සිටියේය. මෙම කාලය අතරතුරදී පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් සත්කාරකත්වය සැපයූ අතර දිනය ආරම්භ කරන ලද්දේ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ වැඩසටහන් සහ ව්‍යාපෘති පිළිබඳව සහ ප්‍රදේශය පිළිබඳව හඳුන්වා දීමකිනි.
ඉන් පසුව කණ්ඩායම පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය මගින් පවත්වාගෙන යනු ලබන මාකොලෝසා සිහින පාසල වෙත පැමිණියෝය. එහිදී ඔවුන් පාසලේ වැඩකටයුතු සහ ආබාධ සහිත පුද්ගලයන් අන්තර්කරණය වෙනුවෙන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ මැදිහත්වීම පිළිබඳව දැනුවත් වන ලදී. මෙහිදී ගුරුවරුන්, කළමනාකාර තුමන් සහ දරුවන් සමග ඉතා සුහදශීලීව ගතකල කාලය කණ්ඩායම් දෙකටම ඉතා හැඟීම්බර සහ සුවිශේෂී අත්දැකීම් එක්කරන ලදී.
දිවා ආහාරයෙන් පසු, පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් ලංකාව තුළ ප්‍රවර්ධනය කරන Kubb ක්‍රීඩාව ඉන්දියානු මිතුරන් වෙත හඳුන්වා දෙන ලදී. ඉන් අනතුරුව සුහදශීලීව තරග කීපයක් පැවැත්වුණේ පමුණුගම තරුණ තරුණියන් පහළොස් දෙනෙකු සහ මීගමුව තරුණු ක්‍රිස්තියානි සංගමයේද තරුණ තරුණියන් හය දෙනෙකුගේ සහභාගිත්වයෙනි.
ඉන් අනතුරුව දෙරටේම තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් සංස්කෘතික සාකච්ඡාවක් පැවැත්විණ. එහිදීම සංස්කෘතික විශ්වාසයන් සහ ඇදහිලි, සංගීතය සහ චිත්‍රපටිය ඇතුළු කලාව, ආහාර සහ ඇඳුම් වැනි සංස්කෘතික අංගයන්හි දෙරටේ පවතින සමානතා සහ අසමානතා පිළිබඳව තොරතුරු බෙදා ගන්නා ලදී. පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ දරුවන්ගේ නර්තන අංග තුනක් ද මේ අතරේදී ඉදිරිපත් කරන ලදී. මෙම අවස්ථාව සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ පාලක මණ්ඩල සාමාජිකයින් ද එක් වූ අතර දෙපාර්ශ්වය අතර සිහිවටන හුවමාරුවක්ද සිදුකිය. අවසානයේ සියලු දෙනා එක්වෙ රාත්‍රී ආහාරය ලබා ගන්නා ලදී.
මෙම සංචාරය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රිස්තියානි සංගම් අතර මෙන්ම තරුණ තරුණයින් අතර මිත්‍රත්වය සහ සහයෝගීතාවය ශක්තිමත් කළ අතර, YMCA ක්‍රියාකාරකම් සහ ප්‍රජා සහභාගීත්වය පිළිබඳව අධ්‍යයනයකට අවස්ථාවක් වූයේ බොහෝ සුන්දර මතක ඉතිරි කරමිනි.




No comments:
Post a Comment