පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය සහ නෝර්වේ රාජ්‍යයේහී ඇස්කර් බාලදක්ෂ කණ්ඩායම අතර 2005 වසරේ සිට ඉතා සමීප මිතුදමක් පවතී. පසුගිය වසර 20 ක කාලය තුල දෙපාර්ශයවය එක්ව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කොට ඇති අතර එකිනෙකා වෙත සංචාර ගණනාවක් සිදු කොට ඇත. වසර විස්සක මිතුදම සමරමින් ඇස්කර් බාල දක්ෂ කණ්ඩායමේ බාල දක්ෂයින් පහළොස් දෙනෙකු සමග රොල්ෆ්, පියුතේ, ශර්ලොත්තෙ සහ වෙන්කෙ යන නායක නායිකාවන් හතර දෙනකුගෙන් යුත් කණ්ඩායමක් 2026 පෙබරවාරි මස 15 සිට 21 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කලහ.
පෙබරවාරි 15 වන දින මධ්‍යම රාත්‍රියේ ලංකාවට පැමිණි ඔවුන් 16 වන දින උදෑසන විවේකීව ගත කළ අතර දිවා අහාරයෙන් අනතුරුව මුතුරාජවෙල සහ මීගමු කලපුවේ බෝට්ටු සවාරියක් සඳහා එක්වූහ. ඉන් අනතුරුව පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය වෙත පැමිණි ඔවුන්ව පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ බාල දක්ෂ බාලදක්ෂිකාවන්, සාමාජික සාමාජිකාවන් සහ කාර්ය මණ්ඩලය විසින් සාදරයෙන් පිළිගත්හ. මෙහිදී ඔවුන් සුහද කතාබහක යෙදීමෙන් අනතුරුව බාලදක්ෂ රැලිය පවත්වා දෙරටේ ධජයන් ඔසවා ඊට ආචාර කිරීමෙන් අනතුරුව ජාතික ගීත ගායනා කලහ. ඉන් අනතුරුව ක්‍රියාකාරකම් කිහිපයක් ඔස්සේ එකිනෙකා හඳුනා ගැනීම සිදු විය. පළමු දිනයේ පින්තූර
පෙබරවාරි 17 වන දින ඔවුන් දියතලාව වෙත පිටත්විය. මේ ගමන සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ බාලදක්ෂයින් 3 දෙනෙකු, නායකයින් දෙදෙනෙකු සහ ප්‍රධාන ලේකම් ද සම්බන්ධවිය. දෙවන දිනයේ පින්තූර පෙබරවාරි 18 වන දින ඔවුන් ඇල්ල ප්‍රදේශයේ සංචාරයක යෙදුන අතර එහිදී ඔවුන් දෝව පන්සල, සහ ආරුක්කු නවයේ පාලම දැක බලා ගත්හ. ඇල්ල සංචාරයේ පින්තූර
පසුදින ඔවුන් හපුතලයේ ප්‍රදේශයේ පිහිටි තේ කර්මාන්ත ශාලාවක් දැක බලා ගනිමින් ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය පිළිබඳව තොරතුරු දැනගත්හ. තේ කර්මාන්තශාලාවේ පින්තූර ඉන් පසු ඔවුන් කලුපහණ ප්‍රදේශයේ පිහිටි වංගෙඩිගල කන්ද තරණය කල අතර ඊට යාබද වංගෙඩි කන්ද කඳු මුදුනද තරණය කරන ලදි. එදින (19) රාත්‍රිය වංගෙඩි කන්දේ තනාගත් කූඩාරම් තුල ගත කරන ලදි. මෙය ඉතා සුන්දර මෙන්ම පාරිසරික අත්දැකීමක් වූ අතර සියළු දෙනා ඉතා සතුටින් මෙම වික්‍රමාන්විතය සමග අත්වින්දහ. වංගෙඩිගල තරණයේ පින්තූර
පසුදින ඔවුන් කොලඹ වෙත පැමිණි අතර එදින සවස වන් ගෝල්ෆේස් සාප්පු සංකීර්ණයේ විවිධ දෑ මිලදී ගනිමින් සහ රාත්‍රී අහාරය ලබාගනිමින් කාලය ගතකලහ.
පෙබරවාරි 21 වන දින උදෑසන පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය වෙත පැමිණි ඔවුන් 22 වන දිනට යෙදී ඇති ලෝක බාලදක්ෂ දිනය සමරන ලදි. මෙහිදී ඔවුන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ බලදක්ෂ බාලදක්ෂිකාවන් 29 දෙනෙකු හා සමග එක්ව බාලදක්ෂ ඉතිහාසය පිළිබඳව කරුණු සඳහන් පසල් එකලස් කිරීමේ ක්‍රියාකාරකමට එක්වූහ. ඉන් අනතුරුව ඔවුන් විනෝද ක්‍රීඩා කීපයකට මෙන්ම එක්ව සමර චිත්‍රයක් ඇඳීමට එක්වූහ. බාලදක්ෂ දිනය සැමරීමේ පින්තූර
වැඩසටහනේ වැදගත්ම මෙන්ම අවසන් ක්‍රියාකාරකම වූයේ 20 වසරක මිතුදම සැමරීමේ උත්සවයයි. ඒ සඳහා ඇස්කර් බාලදක්ෂ කණ්ඩායම, පමුණුගම බාලදක්ෂ බාලදක්ෂිකාවන්, පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ සාමාජික සාමාජිකාවන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 80 දෙනෙකු සහභාගී විය. එහිදී ඔවුන් සමරු කේක් එක කැපීම, දෙපාර්ශවයේම බාලදක්ෂ බාලදක්ෂිකාවන් විසින් ඉදිරිපත් කල නර්තනයන් සහ රංගනයන් රසවිඳීම සිදු කරන ලදි. එමෙන්ම පැමිණි සිටි පිරිස ආමන්ත්‍රණය කළ ඇස්කර් බාලදක්ෂ කණ්ඩායමේ නායක රොල්ෆ් ෆැල්කන්බර්ග් මහතා සහ සංගමයේ සභාපති අජිත් හෙට්ටිආරච්චි මහතා විසින් පැමිණ සිටි පිරිස අමතමින් 20 වසරක මිතුදම පිළිබඳව මතකයන් සහ අත්දැකීම් බෙදා ගනිමින් එකිනෙකා වෙත ගෞරවය පුදකරන ලදි. එමෙන්ම වසර 20 ක මතකය අළුත් කරමින් පින්තූර පෙළක්ද ඉදිරිපත් කරනලදි.
මෙම වැඩසටහනට සමගාමීව පෙබරවාරි 22 දිනට යෙදී තිබුන ඇස්කර් බාලදක්ෂ කණ්ඩායමේ නායක රොල්ෆ් ෆැල්කන්බර්ග් මහතාගේ උපන්දිනය සමරීමද මෙහිදී සිදුවිය. රොල්ෆ් මහතා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය සමග ඉතා සමීපව කටයුතු කරන අයෙක් වන අතර මෙම වැඩසටහන අතර ඔහුගේ 50 වන උපන්දිනය සැමරීමට ලැබීම ඉතා විශේෂ අවස්ථාවක් විය. මෙහිදී උපන් දින කේක් එකක් කැපීමෙන් ඔහුට සුබ පැතීමට සියලු දෙනා එක්වූහ. ඉන් අනතුරුව ඔහු පිළිබඳව ඔහුගේ මිතුරන් වන පියුතේ (ඇස්කර් බාලදක්ෂ නායක), අරුණ ශාන්ත නෝනිස් (සංගමයේ උපදේශක) සහ ධණුක ජයමාන්න (සංගමයේ සාමාජික) ඉතා සංවේදී සුබපැතුම් කතා ඉදිරිපත් කරන ලදි. රොල්ෆ් මහතාගේ මිතුරු මිතුරියන් විසින් ඔහු පිළිබඳව ලියන ලද ලිපි ඇතුලත් පින්තූර ඇල්බමයක් මෙහිදී උපන්දින ත්‍යාගයක් ලෙස රොල්ෆ් මහතාහට පිරිනමන ලදි.
මෙම සංචාරය දෙපාර්ශවය අතර පවතින අඛණ්ඩ මිතුදමට තවත් බොහෝ මතකයන් රැසක් එකතු කිරීමට හැකිවූ අතර වෙනත් සංස්කෘතීන් පිළිබඳව බාලදක්ෂ බාලදක්ෂයින් හට දැනගැනීමට මෙන්ම නව මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට අවස්ථාවක් විය. මේ අයුරින් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයට පැමිණීම වෙනුවෙන් සංගමයේ ස්තූතිය ඇස්කර් බාලදක්ෂ කණ්ඩායමට පිරිනැමේ.
No comments:
Post a Comment